අතීන්ද්‍රීය සංජානනයේ සුවිශේෂතා

ඇස, කණ, නාසය, දිව, සම යන පසිඳුරන් මඟින් අරමුණු ගැනීම නොසලකා හුදෙක් යම් කිසිවෙකුගේ මනසින් පමණක්ම අරමුණු ගැනීමේ ක්‍රියාවළිය අතීන්ද්‍රිය සංජානනය යන නමින් හැඳින්වේ. අතීන්ද්‍රිය යන වචනයෙහි අර්ථය ඉන්ද්‍රියන් ගෙන් පරිබාහිරවූවක් යන්නයි.නමුදු මෙහිදී අතීන්ද්‍රිය යන භාවිතා වී ඇත්තේ භෞතික ඉන්ද්‍රිය පහ ඇසුරෙන් නොවූ යන්න ඇඟවීම සඳහායි. මනසින් ගන්නා අරමුණු ධම්ම යන නමින් හැඳින්වේ.එම ධම්ම නමැති අරමුණු ගැනීමේදී සෙසු පංච ඉන්ද්‍රියන්ගෙන් පරිබාහිරව සිදුවන අරමුණු ගැනීමේ ක්‍රියාවළියක් ඇත.මේ අරමුණු ගැනීමේ ක්‍රියාවළිය මානසික ශක්තියකි. එසේම එම ශක්තිය මනසට පමණක් ඇති විශ්මිත හැකියාවක් ලෙස හැඳින්විය හැකිය. එසේ වුවද මනසද ෂඩ් ඉන්ද්‍රියන්ට අයත් තව එක් ඉන්ද්‍රියකි. නමුදු මනෝ විඤ්ඤාණ ධාතුව සෙසු පංච ඉන්ද්‍රියන් මෙන් ඕලාරික භෞතිකව සතර මහා භූත රූපයන්ගෙන් නිර්මිතවූවක් නොවේ.මනෝවිඤ්ඤාණ ධාතුව වනාහී කිසියම් දැනෙන ස්වභාවයකි. මේ දැනෙන ස්වභාවය රූපයෙහිම ගැබ්ව පවතින්නකි.මේ ඇතැම්හු මේ ලක්ෂණය වරදවා වටහා ගෙන මනෝ විඤ්ඤාණ ධාතුව වනාහී එම රූපයෙහිම තවත් එක් අනන්‍යතා ලක්ෂණයක් පමණක් බව ප්‍රකාශ කිරීමට තරම් දැඩි අයුරකින් අතිධාවනකාරීවී තිබේ.මෙම අදහසේ ව්‍යාප්තිය නිසාම භෞතිකවාදී ආකල්ප පුරාණයේ සිටම සාමාන්‍ය ජන සමාජයේ ව්‍යාප්ත වී තිබේ. අතීන්ද්‍රිය සංජානනය මඟින් දත්ත හඳුනාගැනීමේදී හුදෙක් දත්තවල මානසික සැකසුමේ ස්වරූපය වැදගත්ය.එය මානසික හැඩතලය අනුව සකස්වේ.මෙහි ජීව විද්‍යාත්මක පැතිකඩක්ද තිබේ.යමෙකුගේ මානසික හැඩතලය සකස්වීම කෙරෙහි ඒ පුද්ගලයාගේ කර්ම විපාක ශක්තිය බලපානු ලැබේ.තමාගේ කර්ම විපාක ශක්තිය යම් මට්ටමක පවතින්නේද ඊට අනුරූප මානසික හැඩයක් උරුමකොට උපත ලැබීමට මිනිසාට සිදුවේ. මිනිස් ආත්ම භාවයෙහි පමණක් නොව සතර අපා,දිව්‍ය, බ්‍රහ්ම ආදී කුමන තලයකවුවද උපතලැබීම සිදුවනුයේ කර්ම ශක්තිය අනුව සැකසුනු මානසික හැඩයෙහි ස්වරූපය අනුවය.මින් ඇතැම් මට්ටම් වල උපත ලැබූ සත්වයින්ට උරුමවන අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයේ ස්වභාවය භවතලය අනුවද විවිධ වේ. තිරිසන් යෝනි හා සතර අපාය ආදී භවවල උපත ලැබූ සත්වයන්ගේ මානසික හැඩය මනුෂ්‍යයන්ට වඩා නොදියුණු මට්ටමක ඇත.එබැවින් මානසික හැකියාව පහළ මට්ටමක පවතී.මානසික මට්ටම උසස් හෝ පහළ යැයි තීරණය කරනුයේ පුද්ගලයෙකුතුළ විද්‍යමාන මානසික ගතිලක්ෂණවලඇති ධනාත්මක හෝ සෘණාත්මක බව මතය.මනුෂ්‍ය ආත්ම භවයේ විද්‍යමාන මානසික ගතිලක්ෂණවල ධනාත්මක හෝ සෘණාත්මක බව සෙසු අමනුෂ්‍ය භවවලට සාපේක්ෂකව මධ්‍යස්ථ මට්ටමක පවතී.

            මනසට අරමුණු වන ධම්ම ධාතුවට අයත්වනුයේ චෛතසික දෙපණ, සූක්‍ෂම රූප දහසයද නිවනද යන සැට නවයක් කරුණු වේ.මෙහි චෛතසික දෙපණස නම් සබ්බ චිත්ත සාධාරණ චෛතසික 7, ප්‍රකීර්ණක චෛතසික 6, අකුසල චෛතසික 14, සෝභන සාධාරණ චෛතසික 19, විරති චෛතසික 3, අප්පමඤ්ඤා චෛතසික 2 හා පඤ්ඤා චෛතසික 1 යන්නයි.මෙහි සඳහන් වූ සබ්බ චිත්ත සාධාරණ නම් සුවිශේෂී ස්වභාවයක් නොමැතිව සෑම සිතකම යෙදෙන චෛතසිකවේ. මෙබඳු චෛතසික 7 ක් පිළිබඳව අභිධර්මයෙහි සඳහන්ය.ඒවා නම් ඵස්ස,වේදනා,සඤ්ඤා,චේතනා ඒකග්ගතා, ජීවිතේන්ද්‍රිය හා මනසිකාර යන්නයි.අහේතුක සිත්හි හා සෝභන සිත්හි කිසිදුවෙනසක් නැතිව යෙදෙන බැවින් ප්‍රකීර්ණ චෛතසික එනමින් හැඳින්වේ.මෙබඳු චෛතසික 6ක් ඇත.එනම් විතක්ක, විචාර, අධිමොක්ඛ, විරිය, පීති හා ඡන්‍ද යන්නයි.මෙහි විතර්කය ආර්‍ය්‍ය අෂ්ටාංගික මඟෙහි සම්මා සංකප්පය යන නමින් හැඳින්වේ.සබ්බ චිත්ත සාධාරණ හා ප්‍රකීර්ණක යන චෛතසික 13 න අන්‍ය සමාන චෛතසික නමින්ද හැඳින්වේ.අකුසල් සිත්වල යෙදෙන බැවින් අකුසල චෛතසික ඒ නමින් හැඳින්වේ.අකුසල චෛතසික 14 නම් මෝහ,අහිරික,අනොත්තප්ප,උද්ධච්ච,ලෝභ,දිට්ඨි, මාන, දෝස, ඉස්සා, මච්ඡරිය, කුක්කුච්ච, ථින, මිද්ධ හා විචිකිච්ඡා යන්නයි.සිත පැහැපත් කරවීමට උපකාරීවීම සෝභන චෛතසිකවල කාර්යභාරයයි.මෙබඳු සෝභන චෛතසික 19කි.එනම් සද්ධා, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, තත්‍රමජ්ඣත්තතා, චිත්ත ලහුතා, කායමුදුතා, චිත්ත මුදුතා, කායකම්මඤ්ඤතා, චිත්තකම්මඤ්ඤතා, කායපාගුඤ්ඤතා, චිත්තපාගුඤ්ඤතා කායයුජ්ජුකතා හා චිත්තුජ්ජුකතා යන්නයි.විරති චෛතසික නම් ආර්ය මාර්ගයට පැමිණවීමට උපකාරීවන චෛතසික වේ. මේවා තුනකි.එනම් සම්මා වාචා,සම්මාකම්මන්ත හා සම්මා ආජීව යන්නයි.මෙහි අප්පමඤ්ඤා චෛතසික නම් අප්‍රමාණ සත්වයන් අරමුණු කොට උපදවන නිසාය.එසේම මෙහි එනමින් දක්වා ඇත්තේ කරුණා හා මුදිතා යන චෛතසික දෙකයි.නමුදු මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා සතර අප්පමඤ්ඤා වේ.මෙත්තාව අදෝස නමින්ද උපේක්ඛාව තත්‍රමජ්ඣත්තතාව නමින්ද සෝභන සිත් වල යෙදී ඇති බැවින් ඉතිරි කරුණා හා මුදිතා දෙක පමණක් මෙහි අප්පමඤ්ඤා ලෙස දක්වා ඇති බව වටහාගත යුතුය.එසේම යමක් ත්‍රිලක්ෂණ අනුව දැනගන්නේ පඤ්ඤා චෛතසිකය නිසාය.එම මනසට අරමුණු වන රූපයෙහි සියුම් පදාර්ථමය ස්වභාවය සූක්ෂ්ම රූප නම්වේ.මේවා 16කි.එනම් ආපෝ ධාතුව, ස්ත්‍රී පුරුෂ භාව රූප 2, හෘදය වස්තු රූපය, ජීවිතේන්‍ද්‍රිය රූපය, ආහාර රූපය, ආකාශ රූපය, කාවිඤ්ඤත්ති හා වචී විඤ්ඤත්ති රූප 2, ලහුතා,මුදුතා හා කම්මඤ්ඤතා යන විකාර රූප 3 හා උපචය, සන්තති, ජරතා හා අනිච්චතා යන ලක්ෂණ රූප 4 යි.එමෙන්ම නිවනද මනසට අරමුණු වන බව මෙහිදී පිළිගෙන තිබේ.අභිධර්මයේදී මනසට අරමුණුවන ධම්ම කොටස පිළිබඳ සුක්ෂතම විග්‍රහයක් සිදුකරනුයේ අර්ථ ගැන්වීමේ පහසුව තකාය.මෙහිදී පැහැදිලි වන දෙයක් නම් මානසිකවූ අරමුණු මෙන්ම භෞතික පදාර්ථවල සියුම් අවස්ථාද මනසට අරමුණු වන බවයි.මෙහි සඳහන් වන භෞතික පදාර්ථ නම් රූපයෙහිම පවත්නා වූ සියුම් ස්වභාවයන් ලෙස විග්‍රහ කළහැකිය.එසේම කිසි විටෙක සිතට අරමුණු කළ නොහැකි යැයි ඇතැම් සම්ප්‍රදායන් විසින් සලකන ලද නිර්වාණ ධාතුවද මෙහි සඳහන් ධම්ම අරමුණුවලට ගෝචරවන බව වටහාගත හැකිය.

            සිත යනු භෞතික පදාර්ථවලම පවත්නා සුවිශේෂී වූ දැනීමේ ස්වභාවයක් ලෙස සැලකූවිටද මනස භෞතික පදාර්ථවලින් ස්වායක්ත වූ අනන්‍ය ලක්ෂණ සහිත ස්වභාවයක්ය යන්න පැහැදිලිව වටහා ගත හැකිය.රූපය හා නාමය යනුවෙන් විභේදිතවූ අවස්ථා දෙකක් යටතට සිත හා භෞතික පදාර්ථ වෙන්කර දැක්වීමේ අරුතද ඒ දෙක එකක් සේ නොසලකා දෙකක් වශයෙන් සැලකීමයි. මනස ඉන්ද්‍රියක් සේ බුදුදහමේ හැඳින්වුවද භෞතිකවාදී දැනුම් පද්ධතිවල එසේ නොහැඳින්වෙන  ඇතැම් අවස්ථාද තිබේ.ඒ දැනුම් පද්ධතිවල අරමුණු ලබාගත හැකි දොරටු සේ දක්වා ඇත්තේ පංච ඉන්ද්‍රියන්ට අයත් සේ සැලකෙන ඇස,කණ,නාසය,දිව හා සම මඟින් පමණි.සිත මෙම පංච ඉන්ද්‍රිය හටගැනීම හේතුවූ භෞතික පදාර්ථවලම එක්තරා සියුම් ස්වභාවයක් සේ මෙබඳු දැනුම් පද්ධතිවල සඳහන්ය.ඔවුන්ට අනුව සාමාන්‍ය පියවි මානව ඉන්ද්‍රියන්ට අරමුණු වන පංච ඉන්ද්‍රිය සංජානනයේ සංඥා දත්ත මොළයෙහි තැන්පත් වීමේදී සැකසෙන ව්‍යුහ රටා අතර ඇති සබඳතා තාර්කික අයුරින් හඳුනාගැනීමේ වපසරියතුළ සිත නැමැති ඉන්ද්‍රියේ පූර්ණ ක්‍රියාකාරීත්වය සීමාවී පවතී.සිත නැමැති ප්‍රස්තුතය අර්ථකථනය කරන ආකාරය හා එහි ක්‍රියාකාරීත්වය වටහාගනු ලබන ආකාරය අතර මේ විවිධ අර්ථසැපයුම් එයට සමගාමී සංජානන මට්ටම් දක්වා අනුපිළිවෙලින් දෝලනය වෙමින් තිබේ. සෙසු පංච ඉන්ද්‍රියන්හි සංජානන ක්‍රියාකාරීත්වයේ සියළු හැඩතල පිටතින් නිරීක්ෂණය කළහැකිය. නමුදු මනසේ සංජානන ක්‍රියාකාරීත්වය එලෙස පිටතින් නිරීක්ෂණය කළ නොහැකිය.මේ හේතුව නිසා මනසේ සංජානන ක්‍රියාකාරීත්වය පිළිබඳ අතිවිශාල ප්‍රමාණයක් ගූඪ මතවාද ගොඩනැඟී ඇත. මෙබඳු ගූඪ මතවාද නිසාම මනසේ සංජානන ක්‍රියාකාරීත්වය පිළිබඳ සාමාන්‍ය සමාජයේ ව්‍යාප්තවී ඇති තොරතුරු බොහොමයක් අන්ධ, මිථ්‍යා හා ගූඪ විශ්වාස මතම පදනම්වී ගොඩනැඟී ඇති බවක් ද නිරීක්ෂණය කළ හැකිය.සිතේ ක්‍රියාකාරීත්වය දැනගැනීමට අසීරු වුවද,එය මැනීමට දුෂ්කර වුවද මනෝ සංජානන ක්‍රියාකාරීත්වයක් නැතිබව ඔප්පුකිරීම සඳහා එය සාධකයක් කරගත නොහැකිය. මනස පවතින බව හා එහි ක්‍රියාකාරීත්වය අපට දැනෙන බව සැබෑ නමුත් එය බාහිර උපකරණවල ආධාරයෙන් තහවුරුකර පෙන්විය නොහැකිය.එම ලක්ෂණය මනෝ සංජානනයෙහි පවතින එක් අනන්‍යතා හැඩතලයකි.සිත පවතින බව හා එහි ක්‍රියාකාරීත්වය අපට දැනගත හැක්කේ එහි ක්‍රියාව අපට දැනෙන නිසාය.නැතහොත් සිත නිසා ඇතිවන වැටහීම් හා දැනීම් ලක්ෂණ මාර්ගයෙන් සජීවී තොරතුරු උකහාගත හැකිවීම නිසාය.නමුදු එය ඔප්පු කර දැක්විය නොහැකිය.මන්ද සංවේදී බවට උරුම දැනීම් ලක්ෂණ භෞතික උපකරණවල මිණුම්දඩුවලට හසුනාවන බැවිනි.නමුදු එම භෞතික උපකරණවලට මොළයේ විද්‍යුත් තරංග හෝ හෘද ස්පන්දය හසුකර ගතහැකිය.සිත යනුවෙන් දැක් වෙනුයේ මොළයේ විද්‍යුත් තරංග ක්‍රියාකාරීත්වය හෝ හෘද ස්පන්දනය හෝ නොවේ.එයින් බාහිර වූ යමක්ද නොවේ.සිත ඇතිබව හා එහි ක්‍රියාකාරීත්වයක් ඇති බව භෞතික උපකරණ ආධාරයෙන් මැන දැනගත හැකි භෞතික පැතිකඩ (Physical Profile) වනාහී මොළයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය හා හෘද ස්පන්දයයි. යමෙකු මිය ගියබව හෝ ජීවත්ව සිටිනබව හෝ දැනගැනීම සඳහා වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේදී එහි භෞතික පැතිකඩ නිරතුරුව භාවිතා වේ.නමුදු දියුණු යැයි සම්මතවූ නූතන වෛද්‍ය විද්‍යාත්මක උපකරණ භාවිතාකර වුවද සිත හා එහි ක්‍රියාකාරීත්වය සර්ව සම්පූර්ණයෙන් අවබෝධකරගත නොහැකිය.මින් පැහැදිලිවනුයේ සිතේ ක්‍රියාවන් පවතිනබව සැබෑ නමුදු එය වටහාගැනීමට භෞතික මිණුමකින් ඔබ්බටවූ යාම අවශ්‍ය බවයි. මෙබඳු අවශ්‍යතාවයන් නිසා අද ලෝකයේ පාර භෞතික විද්‍යා ක්‍ෂේත්‍රය (Para physical Science)බෙහෙවින් සංවර්ධනය වී තිබේ. පාරභෞතික ක්‍ෂේත්‍රයට අයත්වනුයේ භෞතික මිණුම් දඬුවලින් මැනගත නොහැකි විෂය ක්‍ෂේත්‍රයන් ගවේෂණය කිරීමයි.ඒ අනුව සිත හා එහි ක්‍රියාකාරීත්වයද පාරභෞතික විෂය ක්‍ෂේත්‍රයට අයත් ලෙස සැලකේ.මනෝවිද්‍යාව අයත්වනුයේද මෙහි සඳහන් පාර භෞතික විෂය ක්‍ෂේත්‍රයටය.

            මේ අනුව මිනිස් මනස පිළිබඳ පර්යේෂණ සිදුකිරීම හා නිරතුරු එහි ප්‍රවර්ධනය කෙරෙහි කටයුතු කිරීම මනෝ විද්‍යා විෂය ක්‍ෂේත්‍රයට පැවරී ඇති එක් වගකීමක් බව අවධාරණය කළහැකිය. බොහෝවිට අද නූතන ලෝකයේ බටහිර රටවල විශ්වවිද්‍යාලවල හා උසස් පර්යේෂණායතනවල අධි මනෝවිද්‍යා විෂය ක්‍ෂේත්‍රයට අයත් පර්යේෂණ විවිධ මට්ටමින් සිදුවනබව දැකගත හැකිය.එම පර්යේෂණ ප්‍රතිඵල නූතන ජනසන්නිවේදන මාධ්‍ය අතර ජනප්‍රියත්වයෙහිලා ගැනෙන අන්තර්ජාල වැනි විද්‍යුත් මාධ්‍ය මඟින් දැකගත හැකිය.නොදියුණු රටවල ජන සංස්කෘතිවල ආගමික අභිචාරවිධි තුළ පමණක් අර්ථකථනය කරදැක්වූ මිනිස් මනස නවීන පර්යේෂණාගාර විෂය ක්‍ෂේත්‍රයක් දක්වා සංවර්ධනයවීම නිසා එය හුදෙක් ආගමික පැතිකඩින් බැහැරව පර්යේෂණායත්මක සේ අධ්‍යයනය කළහැකි ප්‍රස්තුතයක් බවට පත්විය.එය අධිමනෝවිද්‍යා ක්‍ෂේත්‍රයෙහි සුවිශේෂී දියුණුව උදෙස සිදුවූ දෙයක් ලෙසද සැලකිය හැකිය.මන්ද ආගමික වපසරියතුළ පමණක් කොටුවී පැවතීම එබඳු විෂය ක්‍ෂේත්‍රයකට ගූඪ, මිථ්‍යා හා ප්‍රවාද එක්වී එය අසත්‍යය දෙසට තල්ලුවීයෑමට බෙහෙවින් ඉඩකඩ තිබූ බැවිනි.හුදෙක් මිනිස් මනස පිළිබඳ ගවේෂණය මුලින්ම අරඹන ලද්දේ ආගමික සංස්ථා ඇසුරෙහිදී බව අමතක නොකළහැකි කරුණකි.නමුදු ලෝකයේ ආගම් ඉතා විශාල ප්‍රමාණයක් ඇත.එබඳු වූ එක් ආගමකට පවා ඉතා විශාල ප්‍රමාණයක් ආගමික සම්ප්‍රදායන් ගොඩනැඟී තිබේ.නිදසුනක් ලෙස කතෝලික දහම හා බුදුදහම සලකා බැලිය හැකිය.ක්‍රිස්තුස් වහන්සේ විසින් දෙසූ දහම එකක් වුවද අනුගාමික පිරිස් එය අර්ථකථනය කරගෙන ඇති ආකාර විශාල ප්‍රමාණයක් තිබේ.මේ හේතුව නිසා කතෝලික ආගමේ විවිධ සම්ප්‍රදාය රාශියක් බිහිවී තිබේ.ඒ අතර සාම්ප්‍රදායික හා නූතන මතවාද යන විවිධ පාර්ශවද දක්නට ලැබේ.බුදුදහමද මීට සමාන අයුරින් විවිධ සම්ප්‍රදාය රාශියකට ගොනුවී තිබේ.මෙහි ප්‍රධාන පාර්ශව දෙක ථේරවාද හා මහායාන යන්නයි.මේ ප්‍රධාන පාර්ශව දෙකද තවත් අනුකුඩා සම්ප්‍රදායය වලට ගොනුවී තිබේ.මේ සියළු කරුණුවලට ප්‍රධානතම හේතුව බුද්ධ වචනය අර්ථකථනයකිරීමේදී ඇතිවූ විවිධත්වයයි.ලෝකයේ විද්‍යමාන සෑම ආගමික සම්ප්‍රදායකම මෙකී ලක්ෂණ අඩුවැඩි ලෙස දක්නට ලැබේ.ඒ සෑම සම්ප්‍රදායකම දක්වා ඇත්තේ සිය සම්ප්‍රදායය පමණක්ම නිවැරදිබවත් සෙසු සම්ප්‍රදායන් අසත්‍යය බවත්ය.මේ නිසා කිසියම් ආගමික සම්ප්‍රදායක් මඟින් ඉගැන්වෙන ප්‍රතිපත්ති ප්‍රායෝගිකව තමන් විසින්ම අත්හදා බලා ඉතා නිවැරදි ලෙස කුමක් සත්‍ය අසත්‍යදැයි වටහාගෙන මිස අනුන් පවසන වදන් කෙරෙහි විශ්වාසය තබා පමණක් එය නිවැරදි යැයි පිළිගෙන කටයුතු කිරීමේ ඇති දෝෂ සහිතබව මනාව පෙනීයයි.මෙබඳු හේතු නිසා මිනිස් මනස අධ්‍යයනය කිරීමේ වගකීම් මුළුමනින්ම එක්තරා ආගමික සම්ප්‍රදායකට පැවරීමේ ඇති අගතිගාමී ස්වරූපය මෙහිදී මැනවින් ප්‍රකට වේ.මේ නිසා නූතන ලෝකයෙහි අධිමනෝවිද්‍යා විෂය පිළිබඳව අධ්‍යයන හා පර්යේෂණ කටයුතු සිදුවනුයේ එය ආගමික වටපිටාවකින් විනිර්මුක්තකොට බව දැකගත හැකිය.බුදුදහමේ පැරණිම ස්වරූපය තවමත් අන්තර්ගතව ඇත්තේ ථේරවාද සම්ප්‍රදාය තුළබව පෙරඅපර දෙදිගම මේ පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයන හා පර්යේෂණ සිදුකළ විද්වතුන්ගේ පොදු නිගමනය වී තිබේ.මේ අතරිනුත් ලක්දිව මහාවිහාරීය සම්ප්‍රදාය ඇසුරේ සුරැකී පැවතුණු පාලිභාෂා මාධ්‍යයෙන් පැවති බුදුදහම වඩාත් මුල්බුදුදහමේ ස්වරූපයෙන් සුරැකී ඇතිබව ඒ විද්වතුන්ගේ පොදු ආකල්පයයි.පාලි භාෂා මාධ්‍යයෙන්ම පවත්වාගැනීමට ස්ථවිර භික්ෂූන්වහන්සේලා වෑයම්කිරීමත්, අට්ඨකථා,ටීකා,ටිප්පණි වැනි ග්‍රන්ථ සම්පාදනයෙන් මුල්බුදුසමයේ පෞරාණිය හැඩය ආරක්ෂාකර ගැනීමට වෑයම් කිරීමත් නිසා වර්තමානයේ විද්‍යමාන නිවැරදි බුද්ධවචනයේ ස්වරූපය පාලිත්‍රිපිටක දහම බව පිළිගත හැකිය.බුදුදහමේ අන්‍ය දාර්ශනික සම්ප්‍රදායන්ට වඩා පාලි ත්‍රිපිටකය ගුරුකොට ගත් ථේරවාදී සම්ප්‍රදාය මේ හේතුව නිසා මුලික බුද්ධ වචනයට ආසන්න බැවින් වැඩිය.මානසික පක්ෂය පිළිබඳව මුල් බුද්ධ වචනයට අනුකූලව විග්‍රහකිරීමේදී පාලි ත්‍රිපිටකය ගුරුකොට ගැනීමටම යුහුසුළුවීම මඟින් බුද්ධ වචනය අත්තනෝමතික මතවාදවලින් විකෘතිවීම වළක්වා ගත හැකිය.

            අධි මානසික ක්‍ෂේත්‍රයට (Para Psychology) අයත් අතීන්‍ද්‍රීය සංජානනය මඟින් සෙසු පංච ඉන්‍ද්‍රියන් මඟින් උකහාගන්නා තොරතුරුවලට වඩා විශාල ප්‍රමාණයක තොරතුරු ලබාගත හැකිය. සෙසු පංච ඉන්‍ද්‍රියන් මඟින් තොරතුරු ලබාගැනීමේදී ඊට බලපාන විවිධවූ සීමා අතීන්‍ද්‍රීය සංජානනය මඟින් තොරතුරු ලබාගැනීමේදී බලනොපාන බව පැහැදිලිව දැකගත හැකිය.මෙවැනි ලක්ෂණයන් අතීන්‍ද්‍රීය සංජානනයේ පවතින සුවිශේෂීතා ලෙස සැලකිය හැකිය.නිදසුනක් වශයෙන් සැලකීමේදී භෞතික ඇස මඟින් දෘෂ්‍ය සංජානනය සිදුවීම ගත හැකිය.එහිදී ඇස මඟින් සිදුවන දෘෂ්‍ය සංජානන කෘත්‍යයට විවිධ සීමා තිබේ.භෞතික ඇසට පෙනීම ලබාගැනීමේදී විවිධ සීමාවලට යටත්වීමට සිදු වේ.සාමාන්‍ය පියවි මිනිස් ඇසකට පෙනෙන දේවල සීමාවක් තිබේ.එසේම පෙනෙන දුරප්‍රමාණයට අනුවද සීමා සහිතබවක් ඇත.බිත්ති,ප්‍රාකාර වැනි ස්වභාවික බාධාවන් නිසා පෙනීමට බාධා ඇතිවේ. එසේම කාලය (Time) යන සිව්වැනි මානයෙන්ද (Fourth Measurement) පෙනීම සීමාවී තිබේ. කාලය මානයක් ලෙස සලකනුයේ අතීතය, වර්තමානය හා අනාගතය යන කාලත්‍රයට එය සීමාවන බැවිනි.යමෙකුට වර්තමාන කාලයේ පවතින පෙනීම සීමාසහිතව දැකගත හැකිවුවද අතීතයේ තිබූ හෝ වර්තමානයේ ඇතිවීමට ඉඩඇති පෙනීම් වර්තමානයතුළ දැකගැනීමට නොහැකිය.ඒ ඔහුගේ පෙනීමට කාලය යන මානයෙන් එල්ලවන ස්වභාවික බාධාවට ඇස යන භෞතික ඉන්ද්‍රිය යටත්ව පවතින බැවිනි.මේ බාධා අතීන්‍ද්‍රිය සංජානනය තුළ දැකගත නොහැකිය.නැතහොත් භෞතික ඇසට වඩා අඩුවෙන් ස්වභාවික බාධා අතීන්‍ද්‍රිය සංජානනයෙහිදී ක්‍රියාත්මකවේ.අතීන්‍ද්‍රීය සංජානනයට ඇති වන මෙබඳු බාධාවන් පවා හටගැනෙනුයේ පුද්ගල භේදයෙහි පවතින විෂමතාව නිසා මිස අතීන්‍ද්‍රීය සංජානනයේ පවතින අඩුපාඩුවක් නිසා නොවන බව දැනගැනීම වැදගත්ය.පුද්ගලයෙකුගේ පියවි දෙනෙතට උරුමවූ ස්වභාවික අනන්‍යතා ලක්ෂණ අතීන්‍ද්‍රීය සංජානනයටද අදාළව ක්‍රියාත්මක වන බව සැලකිය යුතුය.මේ අනුව ජාති අන්ධ අයෙකුට දෘෂ්‍ය අතීන්‍ද්‍රීය සංජානනය ලබාගත නොහැකිය. අතීන්‍ද්‍රීය සංජානනය උපදවා ගැනීමේදී ඊට ජීව විද්‍යාත්මක අනුබලයක්ද ලැබිය යුතු බව මේ අනුව පැහැදිලිය.මේ ජීවවිද්‍යා අනුබලය නැතිවුවහොත් කෙතරම් වෑයම් කළද අතීන්‍ද්‍රීය සංජානන ශක්තිය උපදවාගත නොහැකිය.කෙනෙකු උපතලැබීමේදී මොළයේ පෙනීමට හෝ ඇසීමට හෝ රසවිඳීමට හෝ ආඝ්‍රාණ දැනීමට හෝ ස්පර්ශ දැනීමට හෝ මානසික අරමුණු දැනගැනීමට අදාළ ප්‍රදේශ නිසි ලෙස වර්ධනය වියහැකි ශක්‍යතාවයක් පැවතීම අත්‍යවශ්‍යය.ත්‍රිහේතුක පටිසන්ධිය නමින් බුදුදහමේ හැඳින්වෙනුයේ මෙකී ජීවවිද්‍යාත්මක ශක්‍යතාවය සහිතව සිදුවන උපතයි.මීට පෙර සසරේ සිදුකළ පින්බලය පැවතිය යුතුය.එසේම සසරේදී අතීන්‍ද්‍රීය සංජානනය උපදවා මැනවින් පුරුදු පුහුණු කර තිබීමද වර්තමාන භවයේ එකී ශක්තිය යළි පුබුදුවා ගැනීමට නොමඳ පිටිවහලක්ද වේ.මිනිස් ආත්ම භාවය ලැබීමේදී ද්විහේතුක කුශල ශක්තියක් ලබාඇති පුද්ගලයින්ගේ මානසික ශක්තිය හා ඉන්‍ද්‍රීය ශක්තිය ත්‍රිහේතුක කුශල ශක්තියකින් උපතලැබූවන්ගේ මානසික ශක්තිය හා ඉන්‍ද්‍රීය ශක්තිය තරම් ප්‍රබල නැත.මේ හේතුව නිසා එබඳු ද්විහේතුක පුද්ගලයින්ට අතීන්‍ද්‍රීය සංජානන ශක්තිය උපදවාගත නොහැකිය.ඔවුන්ට ලබාගත හැකි මානසික ශක්තිය එක්තරා සීමාසහිත බවකින් මෙපිටට යාහැකිද නොවේ.මේ නිසා ත්‍රිහේතුක උත්කෘෂ්ට කුශල ශක්තියක් ලැබූවන්ට විනා සෙසු අයට ධ්‍යාන මාර්ග ඵල ආදිය උපදවාගත නොහැකි යැයි පොදු පිලිගැනීමක් තිබේ.මන්ද ධ්‍යාන මාර්ගඵල වනාහී එක් ආකාරයක අතීන්‍ද්‍රීය සංජානන හැකියාවක් වන බැවිනි.එබඳු දේ උපදවා ගැනීමට සසර කරන ලද්දා වූ පුණ්‍ය ශක්තිය හා අතීන්‍ද්‍රීය සංජානන හැකියාව වර්ධනයකර ලැබූ තදබල පුහුණුවක් තිබිය යුතුය.

            ත්‍රිහේතුක පටිසන්‍ධියකින් උපත ලැබූ පුද්ගලයෙකු අතීන්‍ද්‍රීය සංජානන හැකියාව ලබා දෘෂ්‍ය හැකියාවට අදාළ මානසික ශක්තිය ගොඩනඟා ගතහොත් ඔහුට බිත්ති,ප්‍රාකාර ආදියෙන් ආවරණය වී ඇති සාමාන්‍ය මිනිස් පියවි දෙනෙකට ගෝචර නොවන සියළු දේ දැකීමේ හැකියාව ඇතිවේ.එහි දී සාමාන්‍ය පියවි මිනිස් දෙනෙතට යමක් දර්ශනයවනුයේ ඒ වස්තුවේ ගැටී පරාවර්තිතවූ ආලෝක කිරණ යළි ඇසේ කාචයතුළින් දෘෂ්ටි විතානය මත පතිතවේ.මෙය ඇතිවනුයේ සත්‍ය ප්‍රතිබිම්බයට අදාළ යටිකුරු ප්‍රතිබිම්බයක් ලෙසටය.ඇසේ කාචය තුළින් පෙරී ඇස තුළට ගමන්කරන ආලෝක කිරණ ඇසේ පිටුපස කොටසේ තිරය මත යටිකුරු ප්‍රතිබිම්බයක් සාදයි.මේ කොටස හා මොළයෙහි පෙනීමට අදාළ කොටස සමඟ අතිවිශාල ස්නායු ප්‍රමාණයකින් සමන්විත ස්නායුරැහැනක් සම්බන්ධ වේ.මෙය ප්‍රධාන දෘෂ්ටි ස්නායුව සමඟ මොළයේ දෘෂ්‍ය සංජානනට සම්බන්ධ ප්‍රදේශය කෙරේ.එහිදී ඇසට ලැබෙන සැබෑ ප්‍රතිබිම්බවලට සමාන යටිකුරු ප්‍රතිබිම්බ යළි ආපසු කියවීමකට ලක්කෙරේ. දෘෂ්ටි ස්නායුව තුළින් ගමන්ගන්නා දෘෂ්‍ය සංඥා මොළයේ අදාළ ප්‍රදේශකරා ළඟාවීමෙන් පසු එම සංඥාවන්හි ගැබ්ව ඇති පෙනීමට අදාළ සංඥා මොළය විසින් පරිවර්තනයකර දකින වස්තුව කුමක් දැයි වටහාගැනීමට සමත්වේ.මේ වටහාගැනීමට අතීන්‍ද්‍රීය සංජානනය සම්බන්ධවේ.සැබවින්ම මෙහි දී අතීන්‍ද්‍රීය සංජානනය සම්බන්ධවනුයේ අභ්‍යන්තර මධ්‍ය මොළයේ සෘජු ක්‍රියාකාරීවය සමඟද එසේ නැති නම් මොළයෙහි දෘෂ්‍ය සංජානනයට සම්බන්ධ කොටස සමඟදැයි මනෝවිද්‍යාඥයින් අතර දැනට දිගු කලක පටන් කතිකාවතක් ඇතිව තිබේ.එහෙත් මේ දක්වා ඊට නිශ්චිත විසඳුමක් සොයා ගැනීමට ඔවුන් අපොහොසත්ව සිටිනබව හෙළිවේ.යම් හෙයකින් දෘෂ්‍ය අතීන්‍ද්‍රීය සංජානනය සමඟ සම්බන්ධවනුයේ අභ්‍යන්තර මධ්‍ය මොළය නම් ජීවවිද්‍යාත්මක ලබන පෙනීමේ හැකියාව තිබිමේ ඇති වැදගත්කමක් ඊට නොතිබිය යුතුය.නමුදු සැබෑ තත්වය නම් යමෙකුට දෘෂ්‍ය අතීන්‍ද්‍රිය සංජානන හැකියාව ලැබීමට ජීවවිද්‍යාත්මක පෙනීම තිබීම අත්‍යවශ්‍ය සාධකයක් බවයි.මේ හේතුව නිසා මීට සම්බන්ධවනුයේ අභ්‍යන්තර මධ්‍ය මොළ ව්‍යුහයේ ක්‍රියාකාරීත්වය නොව මොළයේ පෙනීමට අදාළ කොටසබව තවත් විද්‍යාත්මක පිලිගැනීමකි.මොළයේ පෙනීමට අදාළ කොටස දෘෂ්‍ය අතීන්‍ද්‍රිය සංජානනය සමඟ සම්බන්ධ වන්නේ නම් භෞතික ඇසට අදාළවන විවිධ සීමාකාරී සාධක ඊටද අදාළවියයුතුය. නමුදු පුද්ගල හැකියා අනුව විද්‍යමාන විවිධත්වය මිස දෘෂ්‍ය අතීන්‍ද්‍රීය සංජානනයෙහි එබඳු සීමාසහිත ස්වභාවයක් දක්නට නැත.මේ හේතු නිසා සැබවින්ම දෘෂ්‍ය අතීන්‍ද්‍රීය සංජානන සමඟ සම්බන්ධතාව දක්වනුයේ අභ්‍යන්තර මධ්‍ය මොළයද,නැතහොත් මොළයේ දෘෂ්‍ය සංජානනයට අදාළ කොටසද, එසේත් නැතහොත් භෞතික ඇස පමණක්මදැයි තරමක ගැටළුවකට අපට මුහුණපාන්නට සිදුවේ. මේ ගැටළුව දෘෂ්‍ය අතීන්‍ද්‍රීය සංජානන සම්බන්ධයෙන් පමණක්ම නොව ශ්‍රවණ,මනන ආදී වශයෙන් සෑම අතීන්‍ද්‍රීය සංජානනකටම පාහේ පොදුවේ අදාළ වන කරුණකි.

            මෙබඳු අතීන‍්‍ද්‍රීය සංජානන වර්ග පහක් පිළිබඳව පංච අභිඥා නමින් බුදුදහමේ දක්වා තිබේ. එනම් ඉද්ධිවිධ ඥානය,දිබ්බසෝත ඥානය,පරචිත්තවිජානන ඥානය,පුබ්බේනිවාසානුස්සති ඥානය හා දිබ්බචක්ඛු ඥානය එම අභිඥා වර්ග පහයි.මෙකී අභිඥා ලැබීමට ලෞකික ධ්‍යාන ඉපිදවියයුතුය. අභිඥා ලබාගැනීමට කැමති පුද්ගලයා විසින් ඊට නියමිත අවශ්‍යතා සම්පූර්ණ කළයුතුය.ඔහු විසින් පඨවි,ආපෝ,තේජෝ හා වායෝ යන භූත කසිණ සතරෙහි හා නීල,පීත,ලෝහිත හා අවදාත යනාදී වූ වර්ණ කසිණ සතරෙහි යන අටවැදෑරුම් කසිණවල වෙන් වෙන්ව අෂ්ට සමාපත්ති ඉපිදවියයුතුය. මෙහි සඳහන් අෂ්ට සමාපත්ති නම් පඨම,දුතිය,තතිය,චතුත්‍ථි නැමැති රූපාවචර ධ්‍යාන සතර සමඟ ආකාසනඤ්චායතන, විඤ්ඤාණඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන, නෙවසඤ්ඤානාසඤ්ඤායතන යන අරූපාවචර ධ්‍යාන සතරයි.මෙසේ උපදවාගත් අෂ්ට සමාපත්ති ධ්‍යාන ශක්තියවුවද මෙහි පහත සඳහන් ක්‍රමවේදය භාවිතයෙන් නොසෙල්වන පරිදි සවිමත්කරගත යුතුබව දක්වා තිබේ.එනම් මේ ලෞකික ධ්‍යාන ශක්තිය  දැඩි වැරවෑයමෙන් ක්‍රමානූකූල අයුරින් ගුරු ඇසුර නිසි පරිදි ලබාගනිමින් විවේකීව විවිධ ආකාරවලින් පුහුණු කරගත යුතුබව දක්වා තිබේ.මෙහි සඳහන්වන කසිණානුලෝම යන ක්‍රමවේදයේදී මුල සිට අග දක්වා කසිණ පිළිවෙලින් ධ්‍යාන උපදවා ඉන් අනතුරුව තේජෝ කසිණයේ මේ අයුරින් අට කසිණයේම සිය දහස් වාරයක් ධ්‍යානයට සමවදිනු ලැබේ. කසිණ පටිලෝම නමැති ක්‍රමවේදයෙහිදී ඉහත ක්‍රමයෙහි විලෝමය සිදුකෙරේ.එනම් අග සිට මුල දක්වා කසිණ පිළිවෙලින් ධ්‍යානයට සමවැදීමයි.පළමුවෙන්ම ඕදාත කසිණයේ, දෙවනුව ලෝහිත කසිණයේ, තෙවනුව පීත කසිණයේ සිව්වෙනුව ඕදාත කසිණයේ ආදී වශයෙන් අනුපිළිවෙලින් අග සිට මුල තෙක් සිය දහස් වාරයක් ධ්‍යානයට සමවැදීම වේ. කසිණානු -ලෝමපටිලෝම නම් ක්‍රම වේදයේදී මුල සිට අග දක්වා කසිණ පිළිවෙලින් ධ්‍යාන උපදවා යළිත් අනුපිළිවෙලින් අග සිට මුල තෙක් සිය දහස් වාරයක්එසේම කසිණ පිළිවෙලින් ධ්‍යාන ඉපිදවීමයි.ඣානානුලෝම නම් ක්‍රම වේදයේදී ප්‍රථම ධ්‍යානයේ සිට ධ්‍යාන අනුපිළිවෙලින් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය දක්වා සම වැදීමයි.ඣාන පටිලෝම නම් නෙවසඤ්ඤානාසඤ්ඤායතනයේ සිට ප්‍රථම ධ්‍යානය දක්වා අනු පිළිවෙලින් සමවැදීමයි.ඣානානුලෝමපටිලෝම නම් ධ්‍යාන අනුපිළිවෙලින්මුල සිට අග දක්වාද යළි අග සිට මුල දක්වාද සමවැදීමයි.ඣානුක්කන්තික නම් ධ්‍යාන එකක් හැර එකකට සමවැදීමයි. පඨවි කසිණයේ ප්‍රථම ධ්‍යානයට සමවැද යළි එහිම තෘතිය ධ්‍යානයට සමවැද එය අත්හැරදමා යළිඳු ආකාසානඤ්චායතනයටද ඉන් අනතුරුව ආකිඤ්චඤ්ඤායතනයටද සමවැදීමයි.අපෝ කසිණාදී සෙසු කසිණවලද මෙසේම ධ්‍යානයට සමවැදීමයි.කසිණුක්කන්තික නම් කසිණ එකක් හැර එකක් යනාදී වශයෙන් සමවැදීමයි.පඨවි කසිණයෙහි ප්‍රථම ධ්‍යානයට සමවැද යළිත් තේජෝ කසිණයෙහිද යළි නීල කසිණයෙහි ප්‍රථම ධ්‍යානයට මේ අයුරින්ම සමවැදීමයි.ද්විතීය ධ්‍යානයෙහිද මේ ලෙසම සමවදිනු ලැබේ.ඣානකසිණුක්කන්තිකනම් ධ්‍යාන හා කසිණ දෙකොටසම එකක් හැර එකකට සමවැදීමයි.පඨවි කසිණයෙහි ප්‍රථම ධ්‍යානයට සමවැද යළි තේජෝ කසිණයෙහි තෘතීය ධ්‍යානයට සමවැදීම ආදී වශයෙනි.අඞ්ගසඞ්කන්තික නම්  අඞ්ග පිළිවෙලින් සමවැදීමයි. පඨවි කසිණයේ ප්‍රථම ධ්‍යානයට සමවැද එහිම ද්විතීය ධ්‍යානාදියටද සමවැදීමයි. ආරම්මණ සඞ්කන්තික නම් ආරම්මණ පිළිවෙලින් සමවැදීමය.මේ අනුව පඨවි කසිණයේ ප්‍රථම ධ්‍යානයටද සමවැද ආපෝ කසිණාදියේද ප්‍රථම ධ්‍යානයට සමවැදීමයි.සෙසු ධ්‍යානවලද මෙය අනුගමනය කෙරේ.අඞ්ගාරම්මණසඞ්කන්තික  නම් අඞ්ග අරමුණු දෙකම ඒකාන්තරික වශයෙන් සමවැදීමය. පඨවි කසිණයේ ප්‍රථම ධ්‍යානයට සමවැද ආපෝ කසිණයේ ද්විතීය ධ්‍යානයටද තේජෝ කසිණයේ තෘතීය ධ්‍යානයටද සමවැදීමයි. සෙසු ධ්‍යානවලද මේ ක්‍රමයම භාවිතාවේ.අඞ්ගවවත්‍ථාපන නම් ප්‍රථම ධ්‍යානය පංචාංගිකය යනාදී වශයෙන් අංගමාත්‍ර මෙනෙහි කිරීමයි.ආරම්මණවවත්‍ථාපන නම් මෙය පඨවි කසිණය, මෙය ආපෝ කසිණය යනාදී වශයෙන් ආරම්මණ මාත්‍ර ව්‍යවස්ථා කිරීමයි. කසිණ අරමුණු කොට උපදවාගන්නා ධ්‍යාන හා කසිණ මෙසේ මනාව ප්‍රගුණ කරනුයේ එහි සිත මෘදු හා කර්මණ්‍ය ලෙස තබාගැනීමටය.මෙසේ කසිණ හා ධ්‍යාන මනාව ප්‍රගුණකොට මිස නැතිනම් කෙසේවත් සෘද්ධි ලැබිය නොහැකිය.

            අධිට්ඨාන සෘද්ධි, විකුබ්බන සෘද්ධි, මනෝමය සෘද්ධි, ඤාණවිප්ඵාර සෘද්ධි, සමාධිවිප්ඵාර සෘද්ධි, අරිය සෘද්ධි, කම්මවිපාකජ සෘද්ධි, පුණ්‍යවත් සෘද්ධි, විජ්ජාමය සෘද්ධි හා පයෝග සෘද්ධි සේ සෘද්ධි දහයක් පිළිබඳ බුදුහමේ සඳහන්ය.මෙහි අධිෂ්ඨාන සේ ඇතිවන සෘද්ධි අධිට්ඨාන සෘද්ධියයි. තමා දෙදෙනෙකු තිදෙදෙකු සියදෙනෙකු දහසක් වේවායි ඉටාගත් විට එසේම සිදුවේ.සිය ප්‍රකෘතිවූ සිරුර හැර වෙනත් ස්වරූපයකින් පෙනී සිටීම විකුබ්බන සෘද්ධියයි.සිය බාහිර පෙනුම සතෙකු හෝ වෙනත් ස්වරූපයකට පරිවර්තනය කිරීම මින් සිදුවේ.සිය සිරුරතුළ වෙනත් මනෝමය සිරුර මවා පෙන්වීම මනෝමය සෘද්ධියයි.මෙය සිදුකිරීමේදී සිය සිරුර සිදුරක් වේවා යැයි ඉටා එහි වෙනත් සිරුරක් මවා සිය සිරුරෙන් මැවූ සිරුර පිටතට ඇද දැක්වීම මෙහිදී සිදුවේ.ඥානානුභාවයෙන් දක්වා සිටින සුවිශේෂී සෘද්ධිය ඤාණවිප්ඵාර සෘද්ධියයි.බක්කුල හිමි,සංකිච්ච හිමි හා භූතපාල දරුවා සිය මරණයෙන් වැළකුණේ මේ සෘද්ධිය නිසාය.ඒ ආත්මභාවයතුළ රහත්වීමට පින්ඇති උතුමෝ කවර වූ විපතකින් හෝ සිය දිවි ගලවාගැනීමට සමත්වෙති.සමාධි බලයෙන් ඇතිවන්නේ සමාධිවිප්ඵාර සෘද්ධියයි.සැරියුත් හිමි සඳපහනේ යකෙකු හිසට දුන් පහරින්ද,සඤ්ජීව හිමි ගොපලුන්ගේ ගිනිදැලි වලින්ද,ඛාණුකොණ්ඩඤ්ඤ හිමි පල්හොරුන් විසින් සිරුර මතතැබූ බඩුවල බරින්ද,උත්තරා නම් සිටු දියණිය සිරිමා නැමැති ස්ත්‍රිය විසිකළ උණු තෙල්වලින්ද,සාමාවතිය උදේන රජු විදි හී පහරින්ද වැළකුණේ සමාධිවිප්ඵාර සෘද්ධිය නිසාය.සිය සිත වසඟ කළ ආර්‍ය්‍යයන් විසින් පිළිකුළ් අරමුණුවල වුවද නොපිළිකුල්බව සැලකීම ආදිය ආර්‍ය්‍ය සෘද්ධියයි.මේ උතුමෝ පිළිකුල් අරමුණු හමුවූ අවස්ථා වල එහි මෙත් වඩා හෝ ධාතු වශයෙන් සලකා හෝ එහි නොපිළිකුල් බව අරමුණුකර ගනිති.පක්ෂි හා දෙවි දේවතාවන්ගේ අහස් ගමන් ආදී දේ කම්මවිපාකජ සෘද්ධියයි.චක්‍රවර්තී රජවරුන්ගේ අහස් ගමන් ආදිය පුණ්‍ය සෘද්ධියයි.එසේම මෙණ්ඩක,ජෝතිය,ජටිලක,ඝෝෂිතාදීන් විවිධ අනුහස්වර්ගද පුණ්‍ය සෘද්ධියට ගැනේ.ගගණ තාක්ෂණය උපකාරී කරගෙන සිදුකරන අහස් ගමන් ආදිය විද්‍යාමය සෘද්ධියයි.එසේම විවිධ ක්‍රියා සැලකිලිමත්ව මනාව කිරීම නිසා සමෘද්ධිමත්වීම ප්‍රයෝග සෘද්ධියයි. නෙක්ඛම්ම සංකල්පය නිසා කාමච්ඡන්දය ප්‍රහාණයවේ.අර්හත් මාර්ග ඥානයෙන් සියළු කෙළෙස් ප්‍රහාණයවේ.විවිධ ශිල්ප කර්මාන්ත නිසා ඒවා මනාව සිදුවීම ප්‍රයෝග සෘද්ධියට ඇතුළත්ය. සෘද්ධි විධි දහය අතුරෙන් සිය මානසික ශක්තිය පදනම් කර ගෙන ලැබිය හැක්කේ අධිෂ්ඨාන, විකුබ්බන, මනෝමය යන සෘද්ධි තුන පමණි.එසේම සෘද්ධිය පිලිබඳ භූමි සතරක්ද,පාද සතරක්ද,පද අටක්ද, මුල් දහසයක් ඇත. මෙහි භූමි සතර නම් පඨම ධ්‍යානයෙහි පටන් චතුත්‍ථ ධ්‍යානය දක්වා ඇති ධ්‍යාන සතරයි. පාද සතර නම් ඡන්‍ද සෘද්ධිපාද, වීරිය සෘද්ධිපාද, චිත්ත සෘද්ධිපාද, වීමංස සෘද්ධිපාද යන්නයි.එසේම මෙහි සඳහන් පද අට නම් ඡන්‍ද සමාධි, වීරිය සමාධි, චිත්ත සමාධි, වීමාංසා සමාධි යන්නයි. මෙහි සඳහන් මුල් දහසය මඟින් චිත්ත ගති ස්වභාවය ධ්‍යාන උපදවීමට හැකිවන ලෙස සකස් කරන බව විශුද්ධි මාර්ගය අනුව පෙනී යයි.

            අතීන්‍ද්‍රීය සංජානනය නිරුත්සාහකව නොලැබේ.කිසියම් වෙහෙසක් දරා එය ලබාගැනීමට උචිත ස්වරූපයකට සිය කායික මානසික හැඩය සකස්කර ගත යුතුය.මේ කායික මානසික හැඩය සකස් කරගැනීමේ කාර්යය හැඳින්වෙනුයේ ලෞකික ධ්‍යාන උපදවා ගැනීම යනුවෙනි.ක්ෂණිකව මේ තත්වය ලබාගත නොහැකිය.දිගු කලක් ක්‍රමිකව කායික මානසික ස්වරූපය අතීන්‍ද්‍රීය සංජානන පැතිකඩ උපදවා ගැනීමට උචිත ආකාරයකට සූදානම් කරගත යුතුය.ඒ සඳහා දැරිය යුතු අති මහත් වූ වෙහෙස ලෞකික කිසිදු කාර්යයකට දැරිය යුතු වෙහෙසට වඩා ඉතා විශාලය.මේ නිසා මෙබඳුවූ ශක්ති උපදවිය හැක්කේ ඉතා දැඩි වෙහෙසක් හා කැපවීමක් දරා කටයුතු කළහැකි ධෛර්යවන්තවූ අයෙකුට බව පැහැදිලිය.කෙතරම් දැඩි වෙහෙසක් කැපවීමක් දරා කටයුතු කළද ඒ සඳහා අවශ්‍යවූ පුණ්‍ය ශක්තිය නැති අයෙකුගේ උත්සාහය වුවද ඒ භවයේදී සඵල කරගැනීමට ඉඩකඩ නොලැබේ.අතීන්‍ද්‍රීය සංජානනය ප්‍රධාන වශයෙන්ම මානසික පැතිකඩ හා බැඳී පවතින බව සැබෑවකි.නමුදු ඒ මානසික පැතිකඩ දියුණු කරගැනීමේදී අනිවාර්යයෙන්ම කායික පැතිකඩද ඊට අනුරූපව සකස්විය යුතුමය.නැතහොත් ඒ යෝගාවචරයාගේ උත්සාහය ව්‍යවර්ථවී යයි.නිදසුනක් සේ ප්‍රථම ධ්‍යානයේ සිට අනුක්‍රමයෙන් ඊට ඉහළ ලෞකික ධ්‍යාන මට්ටම් කරා ප්‍රවේශවීමේදී දිගු කලක් එක් ඉරියව්වක සිටීමට සිදුවිය හැකිය.එහිදී ඇතිවන ශාරීරික අවශ්‍යතා ක්ෂණිකව ඉටුකරගත හැකි නොවියහැකිය. එහිදී ඇතැම්විට ආහාර පාන ගැනීම,ශරීර කෘත්‍ය,සිරුර පිලිදෑගුම් කිරීම බඳු කායික අවශ්‍යතා වුවද ඉටුකරගත හැකිවනුයේ වඩ වඩා උසස් ධ්‍යාන මට්ටම් කරා පැමිණීමේදී අනුක්‍රමයෙන් සීමාවන කාලසීමාවක් යටතේ වියහැකිය.අවසාන ලෞකික ධ්‍යාන මට්ටමවූ නිරෝධ සමාපත්තියේදී සත් දිනක් ආහාර පානාදියෙන් වැළකී සිටිය හැකිබව දක්වා ඇත.සාමාන්‍ය පියවි මිනිසෙකුට එසේ කළ නොහැකිය.නමුදු මරණයට පත්නොවී ආශ්වාස ප්‍රාශ්වාස පවා නොකර ආහාර පානාදියෙන් වැළකී එසේ සිටීමට නම් කොතරම් මානසික ශක්තියක් පැවතියද ඊට අනුරූපවන කායික පසුබිමක් තිබිය යුතුමය.එබඳු කායික පසුබිමක් යමෙකුට එක්වරම ඇතිකර ගතනොහැකිය.ප්‍රථම ධ්‍යානයේ පටන් අනුක්‍රමයෙන් ඉහළ ධ්‍යාන මට්ටම් කරා පැමිණෙමේදී උසස්වන මානසික පසුබිමට සමගාමී ලෙස කායික පසුබිමද සකස්වීමක් මෙහිදී සිදුවන බව සැලකිය යුතුය.ඊට ස්නායු ක්‍රියාකාරීත්වය,මධ්‍යය ස්නායු පද්ධතිය යටතේ පාලනය වන ආශ්වාස ප්‍රාශ්වාසය,රුධිරයට අම්ලකර වායුව අඛණ්ඩ ලෙස ලබාගත යුතුවීමේ අවශ්‍යතාව,මොළයේ තරංග ක්‍රියාකාරීත්වය,දේහයේ හෝමෝනවල ක්‍රියාකාරී ස්වභාවය,මොළ අභ්‍යන්තරයේ ස්නායු සම්ප්‍රේෂණ කාර්යයට සම්බන්ධ රසායනික සමතුලිතතාවය ආදී කායික පසුබිමට අදාළ බොහෝ දේ මානසික පසුබිමට අදාළව වෙනස්විය යුතුය.නැතහොත් මහත් වෙර වෑයමෙන් ලඟාකරගත යුතු යැයි සලකන උසස් මානසික මට්ටම් වෙත ළඟාවීමේදී යම් ගැටළු ඇතිවේ.මේ නිසා අතීන්‍ද්‍රීය සංජානනයේදී අපේක්ෂා කරන එකී මානසික පසුබිමට ගැලපෙන අයුරින් කායික පසුබිම සකස් කරගත යුතුවේ.ලෞකික ධ්‍යාන මට්ටම්වලදී යටපත් කරගනුලබන අහිතකර මානසික ලක්ෂණවලට සැසඳෙන පරිදි ඉහතකී අහිතකර කායික ලක්ෂණද අවමකරගත යුතුවේ.නිදසුනක් ලෙස කෝපය ඇතිවීම හා ඇනඩ්‍රලීන් හෝමෝන ස්‍රාවයවීම අතර සබඳතාවයක් ඇත.එසේම ටෙස්ටෙස්ටරෝන්, පොජෙස්ට්‍රන් හා ප්‍රොලැක්ටික් වැනි ලිංගික හෝමෝන ස්‍රාවයවීම හා කාමුක හැඟීම් ඇතිවීම අතර සබඳතාවයක් ඇත.මෙබඳු හැඟීම් අඩුවීමේදී කායිකව පවා වෙනස් කම් ඇතිවේ.එසේම එක්වරම මෙබඳු කායික වෙනස්කම් ඇතිනොවේ.මානසික මට්ටම උසස්වීමේ දී කායික පසුබිමට ඒවා බලපාන්නේ ක්‍රමානූකූලව සෙමිනි.

Advertisements